මී උණ (ලෙප්ටොස්පයිරෝසිස්) සහ රුධිරගත පිළිකා ඇතුළු බරපතළ රෝගාබාධ රැසකට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත හැකි රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් අතිනවීන වෛද්‍ය යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබේ. ප්‍රිමියම් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම විසින් සිදුකරන ලද මෙම වටිනා පරිත්‍යාගය, එම සමාගමේ අධ්යක්ෂ මහේෂ් ප්‍රනාන්දු සහ සාමාන්‍යාධිකාරී අචල මෝසස් යන මහත්වරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් උපරිම දායකත්වය සැපයීමේ අරමුණින් මෙම පියවර ගත් බව සමාගම් බලධාරීහු ප්‍රකාශ කරති.ජර්මනියේ නිෂ්පාදිත මෙම සුවිශේෂී වෛද්‍ය උපකරණ, ප්ලාස්මා දේහ විච්ඡේදන ප්‍රතිකාර ක්‍රමය (Plasmapheresis) හරහා ක්‍රියාත්මක වන අතිනවීන තාක්ෂණයෙන් යුක්තය. මේ හරහා ශ්‍රී ලංකාව තුළ බහුලව වාර්තා වන සංකීර්ණ රෝගී තත්ත්වයන් රැසකට ඉතා සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමේ අවස්ථාව මෙරට වෛද්‍ය ක්ෂේත්රයට හිමි වේ.මෙම යන්ත්‍රවල ඇති සුවිශේෂීම කාර්යභාරය වන්නේ මී උණ වැළඳුණු රෝගීන්ට සහ සර්ප දෂ්ඨනයට ලක්වීම නිසා බරපතළ තත්ත්වයේ පසුවන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමයි. මීට අමතරව, ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝග පාලනය කිරීමටත්, අවයව බද්ධ කිරීමකට පෙර හෝ පසුව රෝගීන්ට අවශ්‍ය වන අතිශය විශේෂිත සත්කාරයන් සැපයීමටත් මෙමඟින් හැකියාව ලැබෙනු ඇත.එමෙන්ම, රුධිර පිළිකා සහ තැලසීමියා රෝගයෙන් පීඩා විඳින, ඉදිරියේදී සෛල බද්ධ කිරීමේ (Cell Transplantation) සැත්කම්වලට මුහුණ දීමට අපේක්ෂාවෙන් පසුවන රෝගීන්ට අවශ්‍ය පූර්ව ප්‍රතිකාර ලබාදීම සඳහා ද මෙම යන්ත්‍ර සෘජුවම දායක කර ගැනීමට නියමිතය. මෙමඟින් මෙරට රෝහල් පද්ධතිය තුළ සිටින අසාධ්‍ය රෝගීන් රැසකගේ ජීවිත බේරා ගැනීමට මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.

























