මීගමුව බන්ධනාගාර ගැටුමේ වගකීම රජය භාරගත යුතුයි – විපක්ෂ නායක

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ඛේදනීය ගැටුමෙන් ජීවිත හානි සිදුවීම සහ පිරිසක් තුවාල ලැබීම වත්මන් බන්ධනාගාර පරිපාලනයේ අසාර්ථකභාවය මනාව පෙන්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පෙන්වා දුන්නේ, මීට පෙර විපක්ෂයේ සිටියදී බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බවට තර්ක කළ වත්මන් පාලකයින්, අද දිනයේ සිදුවූ මෙම විනාශයේ සම්පූර්ණ වගකීම ද නිහතමානීව භාරගත යුතු බවයි.​ක්‍රමවේදයේ වෙනසක් (System Change) පොරොන්දු වෙමින් බලයට පත් වූ වත්මන් රජය, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමටත් බන්ධනාගාර තුළ මානුෂීය පරිපාලනයක් පවත්වාගෙන යාමටත් අසමත් වී ඇති බව විපක්ෂ නායකවරයා චෝදනා කරයි. එමෙන්ම, මේ පිළිබඳව සොයා බැලීමට රජයට හිතවාදී කමිටු පත් නොකර, පාර්ලිමේන්තුව හරහා ස්වාධීන, අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුත් පුළුල් පරීක්ෂණයක් වහාම ආරම්භ කරන ලෙස ද ඔහු රජයට බලකර සිටී.​ජාතික ආරක්ෂාව යනු හුදෙක් එක් අංශයකට පමණක් සීමා වූවක් නොව ආර්ථිකය, අධ්‍යාපනය මෙන්ම බන්ධනාගාර පද්ධතිය ද ඇතුළත් පුළුල් විෂය පථයක් බව මෙහිදී අවධාරණය කෙරිණි. එදා ජාතික ආරක්ෂාව ගැන අන් අයට පාඩම් කියා දුන් පිරිස්වල දුර්වලතා අද වන විට ජනතාවට පැහැදිලි වී ඇති බැවින්, උද්දච්චකම් පසෙකලා රටේ සැබෑ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,223

Leave A Reply

Your email address will not be published. Required fields are marked *