මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (07) නියෝග කළාය. එම මරණ පරීක්ෂණ කටයුතු සිදුකර වාර්තා ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දුන්නාය.සිද්ධියට සම්බන්ධ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු සහ රැඳවියන් විස්සක් ලෙස මියගිය පිරිසගේ මෘතදේහ සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණේ, මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.මීට අමතරව, මියගිය අයගේ පවුල්වල භාරකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමේ ක්‍රියාවලිය අවසන් කර, පශ්චාත් මරණ පරීක්ෂණවලින් පසු මෘතදේහ ඥාතීන් වෙත භාරදීමට කටයුතු කරන ලෙසත් පොලිසියට උපදෙස් ලැබී ඇත. සිද්ධිය පිළිබඳ සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙහිදී වැඩිදුරටත් දැනුම් දෙන ලදී.























