අකුරේගොඩ පිහිටි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට අද (28) පෙරවරුවේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වූ අතර, එහි අරමුණ වී තිබුණේ රජයේ මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමයි.කෙසේ වෙතත්, උද්ඝෝෂකයින් අදාළ ස්ථානයට පැමිණීමත් සමඟ අවට පදිංචිකරුවන් විශාල පිරිසක් එතැනට රැස්වී විරෝධය පළ කිරීමට පටන් ගත්හ. නිහඬ නේවාසික පරිසරයක් තුළ මෙවැනි උද්ඝෝෂණ සිදු කිරීමෙන් මහජන පීඩාවක් ඇති වන බව පවසමින් ප්‍රදේශවාසීන් සහ උද්ඝෝෂකයින් අතර දැඩි වාග් සංවාදයක් ඇති වූ අතර, එය උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා ඉලක්ක කර ගනිමින් ජනතාවගෙන් දැඩි චෝදනා එල්ල විය. එහිදී ප්‍රදේශවාසීන්ගේ දැඩි ආවේගශීලී විරෝධය හමුවේ විරෝධතාකරුවන්ට තම අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වූ අතර, තත්ත්වය පාලනය කරගත නොහැකි තැන ඔවුන් වහාම එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.මෙම සිදුවීමත් සමඟ අකුරේගොඩ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගැනුණු අතර, උද්ඝෝෂකයින් පලායාමත් සමඟ තත්ත්වය සමනය විය. දේශපාලන ක්‍රියාකාරීන් පෞද්ගලික නිවාස ඉදිරිපිට විරෝධතා දැක්වීමට එරෙහිව ප්‍රදේශවාසීන් මෙලෙස සංවිධානාත්මකව පෙරට පැමිණීම විශේෂත්වයකි.

























