මූල්‍ය දත්ත ප්‍රකාශයට පත් නොකිරීමෙන් විනිවිදභාවය ගිලිහෙන බවට හර්ෂ ද සිල්වාගෙන් අනතුරු ඇඟවීමක්

රජයේ ණය ආපසු ගෙවීම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම නතර වීම හේතුවෙන් රටේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය බරපතල ලෙස බිඳවැටීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අඛණ්ඩව ප්‍රසිද්ධ කරන ලද මෙම දත්ත වාර්තා, මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ණය කළමනාකරණ අංශය (PDDM) වෙත පැවරීමෙන් පසු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් රජය ණය පියවන ආකාරය හෝ ඒ සඳහා යොදාගන්නා මූල්‍ය උපකරණ පිළිබඳ නිශ්චිත තොරතුරක් මහජනතාවට මෙන්ම ආර්ථික පාර්ශ්වකරුවන්ටද දැනගැනීමට නොලැබෙන බව ඔහු අනාවරණය කළේය.​ජාතික මට්ටමේ වැදගත් ආර්ථික දත්ත සඟවා තැබීම ඉදිරියේදී තවත් මූල්‍ය අර්බුදයකට මඟපාදිය හැකි බැවින්, මහ බැංකුව මීට පෙර අනුගමනය කළ විධිමත් දත්ත ප්‍රකාශන ක්‍රියාපිළිවෙතම නව ණය කළමනාකරණ අංශය හරහා ද වහාම ක්‍රියාත්මක කරන ලෙස මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටී. රටේ රාජ්‍ය මූල්‍ය තොරතුරු සම්බන්ධයෙන් නෛතික හා සදාචාරාත්මක වගකීමක් රජය සතු බව පෙන්වා දෙන ඒ මහතා, මෙලෙස නිල දත්ත ප්‍රකාශයට පත් නොකිරීමෙන් සමස්ත මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය පළුදු වන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,185

Leave A Reply

Your email address will not be published. Required fields are marked *