ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මව් සමාගම වන මෙටා (Meta) ආයතනය සිය සේවක මණ්ඩලයෙන් 8,000කට අධික පිරිසක් ඉවත් කිරීමට තීරණය කර තිබේ. මෙය සමාගමේ සමස්ත සේවක සංඛ්‍යාවෙන් 10%ක් වැනි ඉහළ ප්‍රතිශතයක් වන අතර, මීට අමතරව දැනට පවතින පුරප්පාඩු දහස් ගණනක් තවදුරටත් නොපිරවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.සමාගමේ මෙම හදිසි පිරිවැය කළමනාකරණ ක්‍රියාවලියට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය දියුණු කිරීම සඳහා වැයවන අධික පිරිවැයයි. වාර්තා වන අන්දමට මේ වසර තුළ පමණක් AI ව්‍යාපෘති වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 135ක දැවැන්ත මුදලක් ආයෝජනය කිරීමට මෙටා සමාගම සැලසුම් කර තිබේ.මෙම රැකියා කප්පාදුව පිළිබඳව මෙටා ප්‍රධානී මාර්ක් සකර්බර්ග් විසින් පසුගිය ජනවාරි මාසයේදී මූලික ඉඟියක් ලබා දී තිබුණි. ඒ අනුව සමාගමේ මෙහෙයුම් වියදම් අවම කරගනිමින් නවීන තාක්ෂණය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කර ඇත.තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන මෙටා ආයතනය මෙලෙස සේවක පිරිස් අවම කිරීම ලොව පුරා දැඩි කතාබහට ලක්ව තිබේ. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය වැනි අංශයන් ශීඝ්‍රයෙන් සංවර්ධනය වන පසුබිමක, මානව ශ්‍රමයට ඇති ඉල්ලුම යම් තාක් දුරකට සීමා වීම මෙම තීරණයෙන් පිළිබිඹු වන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

























