රට තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නොමැති බව රජය ප්‍රකාශ කළ ද, වත්මන් තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ ඇතුළු ද්‍රව්‍ය රැසක මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යමින් පවතින බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම මිල ඉහළ යෑමේ ප්‍රවණතාවය ඉදිරියේදී වඩාත් බරපතළ සමාජීය සහ ආර්ථික ගැටලු රැසක් නිර්මාණය කිරීමට හේතු විය හැකි බවයි.මූල්‍ය වෙළඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය නිරන්තරයෙන් උච්චාවචනය වීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. උදෑසන කාලයේ පවතින ඩොලරයේ වටිනාකම දහවල් වන විට වෙනස් වන තරමටම විදේශ විනිමය අනුපාතිකය අස්ථාවර වී ඇති බවත්, ජනාධිපතිවරයා ඇතුළු රජය කුමන ප්‍රකාශ සිදුකළ ද බිම් මට්ටමේ පවතින සැබෑ තත්ත්වය එය බවත් ඔහු අවධාරණය කළේය.රටේ ආර්ථිකය මෙලෙස දැඩි අවිනිශ්චිතතාවයකට පත්ව ඇති බැවින්, වෙළඳපොළ මිල ගණන් සහ විනිමය අනුපාතික පාලනය කිරීම සඳහා රජය වහාම මැදිහත් විය යුතු බව මුජිබර් රහ්මාන් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. පවතින තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට කඩිනම් පියවර නොගතහොත් සාමාන්‍ය ජනතාව තවදුරටත් දැඩි පීඩාවකට පත්වන බව ද මන්ත්‍රීවරයා සභාගර්භයේදී පවසා සිටියේය.

























