රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ නිල සංචාරයක් සඳහා දිවයිනට

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිඛායිල් මුරෂ්කෝ මහතා ඇතුළු සත් පුද්ගල ඉහළ පෙළේ දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා අද (03) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ. මොස්කව් නුවර සිට පැමිණි එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් SU-288 යානයෙන් මෙරටට සම්ප්‍රාප්ත වූ මෙම පිරිස පිළිගැනීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් යන මහත්වරුන් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.​මෙම සංචාරය අතරතුර රුසියානු දූත පිරිස මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරගැනීම මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වී තිබේ.​මීට අමතරව, රුසියානු අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සහ වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද සැලසුම් කර ඇත. මෙමගින් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සහ සායනික සේවා සැපයීමේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීමටත්, ඉදිරි සෞඛ්‍ය ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව හිමිවනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,129

Leave A Reply

Your email address will not be published. Required fields are marked *