ලංකාවේ ප්‍රජනන වේගය 1.3 දක්වා පහත වැටීම දත්ත දෝෂයක්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රජනන වේගය එක් කාන්තාවකට දරුවන් 1.3ක් දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවට පළවන වාර්තා පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යා පිළිබඳ සම්මානිත මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරයි. 2024 සංගණන දත්ත මගින් පෙන්වන මෙම අගය සැබෑ ජනගහන කඩා වැටීමකට වඩා දත්ත වාර්තා කිරීමේ පවතින ගැටලුවක් විය හැකි බව ඔහුගේ මතයයි. වසර 12ක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රජනන වේගය 2.4 සිට 1.3 දක්වා අඩුවීම ස්වභාවික තත්ත්වයක් නොවන බැවින්, ඒ පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ යුතු බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.​මෙම අගය මෙතරම් අඩුවීමට බලපා ඇති ප්‍රධාන සාධක ලෙස කොවිඩ් වසංගතය සහ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තරුණ යුවළයන් දරු උපත් තාවකාලිකව ප්‍රමාද කිරීම හඳුනාගත හැකිය. කාන්තාවන් විවාහ වන වයස අවුරුදු 26 දක්වා ඉහළ ගොස් තිබුණද, ඔවුන් විවාහය ප්‍රතික්ෂේප කිරීමක් හෝ දරුවන් ලැබීමට ඇති කැමැත්ත අත්හැරීමක් මෙතෙක් වාර්තා වී නොමැත. බොහෝ විවාහක කාන්තාවන් තවමත් දරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු අපේක්ෂා කරන බැවින්, සංගණනයේදී මෑත කාලීන උපත් නිවැරදිව ගණනය නොවීම මෙම සංඛ්‍යාලේඛන වෙනසට හේතු වී ඇති බව පෙනී යයි.​සැබෑ දත්ත විග්‍රහ කිරීමේදී ලංකාවේ ප්‍රජනන වේගය තවමත් 2.1ක පමණ ස්ථාවර මට්ටමක පවතින බව මහාචාර්යවරයා විශ්වාස කරයි. එබැවින් ජනගහනය ශීඝ්‍රයෙන් අඩුවීම පිළිබඳව අනියත බියක් ඇති කරගන්නවා වෙනුවට, ඉදිරියේදී නිර්මාණය වන වයස්ගත ජනගහනයට උචිත සමාජ හා ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට රජය ප්‍රමුඛතාවය දිය යුතුය. දත්ත නිවැරදිව කළමනාකරණය කිරීම හරහා රටේ අනාගත ජනගහන සැලසුම් වඩාත් සාර්ථකව සකස් කරගත හැකි බව මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,133

Leave A Reply

Your email address will not be published. Required fields are marked *