ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල අද දිනයේදීත් කැපී පෙනෙන පසුබෑමක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. සියයට 2කට ආසන්න අගයකින් මිල පහත වැටීමත් සමඟ, ප්‍රධාන ගණයේ බොරතෙල් වර්ග කිහිපයකම මිල අමෙරිකානු ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණ තිබේ. මේ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බැරලයක් ඩොලර් 99.43ක් ලෙසත්, WTI වර්ගය ඩොලර් 93.17ක් සහ මර්බන් වර්ගය ඩොලර් 96.20ක් ලෙසත් අගයන් සටහන් කර ඇත.මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දේශපාලන හා යුදමය තත්ත්වයන් මෙම මිල උච්චාවචනයන් කෙරෙහි ප්‍රබල ලෙස බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරති. විශේෂයෙන්ම පවතින ගැටුම් සමනය කිරීම සඳහා අමෙරිකාව ඉදිරිපත් කළ කරුණු 14කින් යුත් නව අවබෝධතා ගිවිසුම කෙරෙහි ඉරානය අවධානය යොමු කිරීම, වෙළෙඳපොළ තුළ යම් ස්ථාවරත්වයක් ඇති වීමට හේතු වී තිබේ.ඊශ්‍රායලය විසින් එල්ල කරන ප්‍රහාර සහ හෝමුස් සමුද්‍රසන්ධියේ මෙහෙයුම් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දු තීරණ මධ්‍යයේ වුවද, බොරතෙල් මිල පහළ යාමේ ප්‍රවණතාව තවදුරටත් අඛණ්ඩව පවත්වා ගැනීමට වෙළෙඳපොළ සමත්ව ඇත. මෙම තත්ත්වය ඉදිරි දිනවලදී ගෝලීය බලශක්ති පිරිවැය කෙරෙහි සුබවාදී බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

























