කොළඹ වරාය නගර පරිශ්රයේදී චීන ජාතිකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු එක් අයෙකු පැහැරගෙන ගොස් තිබේ. ඊයේ (22) රාත්රියේ නවීන පන්නයේ ජීප් රථයකින් වරාය නගරයට පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු එල්ලෙන පාලම මත මාළු බාමින් සිටියදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත.අද අලුයම 2:00 ට පමණ KDH වර්ගයේ වෑන් රථයකින් පැමිණි තවත් චීන ජාතිකයන් 15 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් එම ස්ථානයට කඩා වැදී ඇත. අනතුරුව මාළු බාමින් සිටි පිරිසට පහර දී ඇති එම ප්රහාරකයින්, ඒ අතරින් එක් අයෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇති අතර මේ වන තෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නැත.පහරදීමෙන් පසු ප්රහාරකයින් එම ස්ථානයේ දමා ගොස් තිබූ KDH වෑන් රථය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී විදේශයක නිෂ්පාදිත රිවෝල්වරයක් සොයා ගැනීමට පොලිසිය සමත්විය. වරාය නගර පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්රියාත්මක කරමින් පවතී.























