ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතාගේ චරිතාපදානය වන “රතුවේවි මිහිමඩල” කෘතිය එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී පවත්වන ලදී.මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, දේශපාලන මතවාදී වශයෙන් ඇතැම් අවස්ථාවලදී මතභේද පැවතුණද, ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් වාසුදේව නානායක්කාර මහතා ඉටු කළ සේවය සහ ඔහුගේ දේශපාලන ගමන රටට බලපෑම් කළ බවයි. තමා 2020 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසෙන විටත් ඔහු එහි සිටි බව සිහිපත් කළ අගමැතිවරිය, ඔහුගේ දේශපාලන දිවියේ විශේෂ අවස්ථා හා රසමුසු තැන් මෙම කෘතිය තුළ ද අන්තර්ගත වනු ඇති බව විශ්වාසය පළ කළාය.මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද පැවති මෙම ග්‍රන්ථ ප්‍රකාශන උත්සවය සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු කථානායකවරුන් වන කරු ජයසූරිය හා චමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලඥයන් මෙන්ම පවුලේ හිතවතුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



























