නුවරඑළිය සංවර්ධනයට රුපියල් මිලියන 997කට අධික මුදලක්

රට තුළ දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාවට නංවා ඇත. 2026 වසරේ අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක සමස්ත ප්‍රතිපාදන මත පදනම්ව, මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර තිබේ.​මෙම ජාතික වැඩසටහනේ ප්‍රගති සමාලෝචන හමුවක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පමණක් ව්‍යාපෘති 786ක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, එහි මුළු වටිනාකම රුපියල් මිලියන 997.84ක් බවයි.​අනුමත කර ඇති මෙම සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් 263ක් ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් ද, ව්‍යාපෘති 286ක් යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් ද වෙන් කර ඇත. එමෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති ප්‍රජා ශක්ති ඒකකවල තාක්ෂණික පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ද 2026 වර්ෂය වෙනුවෙන් මිලියන 182.5ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබේ.​මෙම සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කර ඒවා හැකි ඉක්මනින් ජනතා අයිතියට පත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ට දැඩිව උපදෙස් දුන්නේය. විශේෂයෙන්ම රාජ්‍ය මූල්‍ය විනය උපරිමයෙන් ආරක්ෂා කර ගනිමින්, කිසිදු අපතේ යෑමකින් තොරව මෙම ව්‍යාපෘතිවල සැබෑ ප්‍රතිලාභ ගම්බද ජනතාව වෙත ලබා දීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය.​මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීර ආරච්චි යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,307

Leave A Reply

Your email address will not be published. Required fields are marked *