දේශීය විදේශ විනිමය සංචිත කළමනාකරණය ශක්තිමත් කිරීමේ අරමුණින්, ආනයනික වාහන සඳහා පවතින රේගු බද්ද මත 50%ක අතිරේක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව මෙම බදු සංශෝධනය අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි මාස තුනක කාලසීමාවක් සඳහා බලපැවැත්වෙනු ඇත. මෙමඟින් මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක සාමාන්‍ය රේගු ආනයන බද්දට අමතරව, එම බදු මුදල පදනම් කර ගනිමින් තවත් 50%ක අතිරේක බද්දක් එකතු වීමට නියමිතය.කෙසේ වෙතත්, මෙම බදු සංශෝධනය හේතුවෙන් දැනටමත් වාහන ඇණවුම් කර ඇති ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට ද රජය පියවර ගෙන තිබේ. ඒ අනුව, මැයි 15 වැනිදා හෝ ඊට පෙර නිල වශයෙන් ණයවර ලිපි (LC) විවෘත කර ඇති වාහන ආනයන සඳහා මෙම නව අතිරේක බද්ද අදාළ නොවන බව රජය විශේෂයෙන් අවධාරණය කරයි.

























