ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කරමින්, එළඹෙන මැයි මස 1 වනදා සිට මෙරට ප්‍රථම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත (Digital Motor Insurance Card) හඳුන්වා දීමට මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ජාතික ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට සමගාමීව ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමයි. මින් ඉදිරියට රියදුරන්ට තම රක්ෂණ සහතිකය භෞතිකව ළඟ තබා ගැනීම වෙනුවට ජංගම දුරකථනය හරහා පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකි වන අතර, මෙය පොලිස් පරීක්ෂාවන්හිදී දෙපාර්ශවයටම මහත් පහසුවක් වනු ඇත.රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව ක්‍රියාවට නංවන මෙම නව ක්‍රමවේදය හරහා දැනට භාවිත වන ප්ලාස්ටික් රක්ෂණ කාඩ්පත් ක්‍රමය ක්‍රමයෙන් ඉවත් වනු ඇත. මෙය පරිසර හිතකාමී පියවරක් පමණක් නොව, කඩදාසි සහ ප්ලාස්ටික් භාවිතය අවම කරමින් වඩාත් සුරක්ෂිත දත්ත පද්ධතියක් ගොඩනැගීමට දායක වන්නකි. පවතින සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා වේගවත් සහ නිරවද්‍ය තොරතුරු හුවමාරුවක් මෙමගින් රක්ෂණ හිමියන් වෙත හිමිවීම විශේෂත්වයකි.

























