හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්රයෙකු වන රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක් තාවකාලිකව අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත. අක්රමවත් ලෙස හෝ අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතිමය ප්රතිපාදනවලට අනුකූලව මෙම පියවර ගෙන තිබේ.දැනට සිදුවෙමින් පවතින වත්කම් විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්රියේ රාජගිරිය ප්රදේශයේ පිහිටි රඛිත රාජපක්ෂ මහතාගේ මහල් නිවාස සංකීර්ණය වෙත ගොස් තිබුණි. කෙසේ වෙතත්, එම අවස්ථාව වන විටත් ඔහු සහ ඔහුගේ රියදුරු සිය ජංගම දුරකථන ක්රියා විරහිත කර නිවසින් පිටව ගොස් තිබූ බව සඳහන් වේ.ඔහුගේ වත්කම් හා බැඳුණු සැකසහිත තොරතුරු සහ ඉදිරිපත් වී ඇති පැමිණිලි කිහිපයක් මුල් කරගනිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඉදිරි පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කරනු ලබයි.


























