මෙරට ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ වැළඳුණු රෝගීන් 66 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කරන්නේ පවතින වැසි සහිත දේශගුණයත් සමඟ මෙම තත්ත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඉදිරියේදී පැවැත්වෙන වෙසක් උත්සවය, දන්සල් සහ මහජන ඒකරාශීවීම් හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.දැනට හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ දියතලාව ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 28කි. මීට අමතරව රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් ආසාදිතයන් 25 දෙනෙකු සහ වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13 දෙනෙකු වශයෙන් මෙම සමස්ත රෝගීන් පිරිස වාර්තා වී තිබේ.රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහා ඉදිරි උත්සව සමයේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කිරීම අතිශය වැදගත් බව වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අවධාරණය කරයි. මේ හේතුවෙන් පොදු කටයුතුවලදී සහ දන්සල් සංවිධානය කිරීමේදී උපරිම ලෙස සෞඛ්‍ය පුරුදු කෙරෙහි සැලකිලිමත් වන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



























