හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදීම සිදුකර තිබේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල ප්‍රදේශයේ දේපළකට හානි සිදුවූ බව පවසමින්, වන්දි ලබා දීම ප්‍රතික්ෂේප කර තිබූ පසුබිමක නිල බලය අයුතු ලෙස භාවිත කරමින් රුපියල් මිලියන 8.8කට අධික වන්දි මුදලක් ලබාගැනීම මෙම චෝදනාවට පාදක වී ඇත.මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබේ. රජයේ නිලධාරීන්ට බලපෑම් කරමින් දූෂිත ක්‍රියාවක නිරත වීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර, ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පියවර ගත්තේය. එමෙන්ම විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තා කැඳවීමට නියම කළ විනිසුරුවරයා, නඩුව යළි අගෝස්තු මස 05 වන දින කැඳවන ලෙස නියෝග කළේය.























