වියට්නාමයේ හො චි මින් නුවර සිට පැමිණි වියට්නාම් එයාර් ලයින්ස් සමාගමට අයත් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (16) රාත්‍රී 11.02 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ඒබස් ඒ-320 වර්ගයේ එම ගුවන් යානය ගුවන් තොටුපොළ වෙත පැමිණීමත් සමඟ සාම්ප්‍රදායික ජල ආචාර පද්ධතියකින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මගීන් 164 දෙනෙකු රැගෙන පැමිණි මෙම මංගල ගුවන් යානයෙන් මගීන් 172 දෙනෙකු යළි වියට්නාමය බලා පිටත්ව ගියහ.මෙම නව ඍජු ගුවන් සේවාව යටතේ සතියකට දින තුනක්, එනම් ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල කටුනායක සහ වියට්නාමය අතර ගමන්වාර ක්‍රියාත්මක වේ. එක් ගමන් වාරයක් සඳහා ගත වන කාලය පැය හතරකට සහ විනාඩි තිස්යකට ආසන්න වේ. නව ගුවන් සේවය ආරම්භ වීම නිමිත්තෙන් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් ති ටාම් මහත්මිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.



























