සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 82ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සූරයන් වූ පාකිස්තාන කණ්ඩායම, තරග 3කින් සමන්විත තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගැනීමට ඊයේ (11) සමත් විය. රාවල්පින්ඩි හිදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.එහිදී පාකිස්තාන පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ සාදාකත් පන්දු 51කින් නොදැවී ලකුණු 96ක් ලබාගත් අතර, නායක සාහිබ්සාදා ෆර්හාන් පන්දු 44කින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 32ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 29ක් රැස් කළහ.පන්දු යැවීමේදී පාකිස්තාන පිල වෙනුවෙන් විශිෂ්ට ලෙස පන්දු යැවූ මොහොමඩ් ඉම්රාන් ලකුණු 11කට කඩුලු 3ක් සහ සල්මාන් මිර්සා ලකුණු 28කට කඩුලු 2ක් බිඳහෙළමින් ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීමට සමත් වූහ.
























