ශ්‍රී ලංකාවට නව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් හයදෙනෙකු පත් කෙරේ

ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, අලුතින් පත් වූ විදේශීය තානාපතිවරුන් සිව් දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය නිල අක්තපත්‍ර භාර දුන්හ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මෙලෙස සිය අක්තපත්‍ර පිළිගැන්වූ රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර පැපුවා නිව්ගිනියාව, සෝමාලියාව, ලක්සම්බර්ග්, වතිකානය, පාකිස්ථානය සහ කුවේට් රාජ්‍යයේ නියෝජිතයෝ ඇතුළත් වෙති.​මෙහිදී පැපුවා නිව්ගිනියාවේ මහකොමසාරිස් ලෙස වින්සන්ට් සුමාලේ, සෝමාලියාවේ තානාපති ලෙස අබ්දුල්ලාහි මොහොමඩ් ඔඩෝවා සහ ලක්සම්බර්ග් තානාපති ලෙස ක්‍රිස්ටියන් බීවර් යන මහත්වරුන් අක්තපත්‍ර භාර දුන් අතර ඔවුන් නවදිල්ලියේ සිට සිය රාජකාරි මෙහෙයවනු ලබයි. මීට අමතරව වතිකානයේ අපෝස්තලික නුන්සියෝ ලෙස මොන්සිඤ්ඤෝර් ඇන්ඩෲ ජොස්වොවිච් පියතුමා ද, පාකිස්ථාන මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නයියර් නසීර් මහතා සහ කුවේට් තානාපති ලෙස සාලේ මුබාරක් අල්-සරාවි මහතා ද මෙරට පත්වීම් ලබා ගත්හ.​අක්තපත්‍ර පිළිගැන්වීමේ නිල උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ නව රාජ්‍ය තාන්ත්‍රිකයින් අතර සුහද සාකච්ඡාවක් පැවැත්වුණු අතර, එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,104

Leave A Reply

Your email address will not be published. Required fields are marked *