සැබෑ පොහොසත් රටක් බිහිවන්නේ මිනිසුන්ගේ සදාචාරය ශක්තිමත් වීමෙන් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

හුදෙක් භෞතික ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පමණක් ආගමික ස්ථාන සංවර්ධනය කළ නොහැකි බවත්, එම ස්ථාන සමාජයට නිවැරදි මඟ පෙන්වන කේන්ද්‍රස්ථාන බවට පත් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. විහාරස්ථානයක පැවැති උත්සව සභාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ ආගමික ස්ථාන නිසි පරිදි පවත්වාගෙන යාමට ශක්තිමත් දායක සභාවක් සහ ගුණගරුක ජනතාවක් සිටීම සමාජයේ ඉදිරිගමනට විශාල ශක්තියක් වන බවයි.​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ රජයේ අරමුණ වන්නේ ආගමික ස්ථාන වැඳපුදා ගැනීමට පමණක් සීමා නොකර, ඒවා සමාජයේ සාරධර්ම වර්ධනය කරන සහ ජාතික සමගිය ගොඩනඟන ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත් කිරීම බවයි. රටක සැබෑ සංවර්ධනය ළඟා කර ගැනීමට නම් ආගමික ආයතනවලින් ලැබෙන මෙම ආත්මීය දායකත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවද ඇය පෙන්වා දුන්නාය.​දියුණු හෝ පොහොසත් රටක් යන්නෙන් අදහස් කරන්නේ හුදෙක් ආර්ථික අතින් පමණක් ඉහළ මට්ටමකට පැමිණීම නොවන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය. ඇය ප්‍රකාශ කළේ රටක් සැබවින්ම දියුණු තත්ත්වයකට පත් වූවා යැයි කිව හැක්කේ මහජනතාවගේ සිතුවිලි යහපත් වී, සමස්ත සමාජයේම සදාචාරාත්මක පදනම ශක්තිමත් වන දිනයට බවයි.

What's your reaction?

Related Posts

1 of 1,206

Leave A Reply

Your email address will not be published. Required fields are marked *