පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබුණි. මෙම පෙත්සමට සහාය පළ කරමින් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කළේය.අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු සලකා බැලීම සිදු විය. එහිදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය පෙන්වා දුන්නේ, මෙම නඩුකරය සමස්ත මහජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇති බැවින් තමන්ට ද ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.කෙසේ වෙතත්, වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය සඳහන් කළේ මූලික පෙත්සමට අදාළව අධිකරණය විසින් නොතීසි නිකුත් කිරීමට තීරණය කළහොත් පමණක් මෙම අතරමැදි ඉල්ලීම් සලකා බැලිය හැකි බවයි. ඒ අනුව, ප්‍රධාන පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ දේශන අවසන් වූ පසුව මෙම මැදිහත් වීමේ පෙත්සම් පිළිබඳ අවසන් තීන්දුවක් ගන්නා බව විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේය.























