සුරේෂ් සලේට අපක්ෂපාතීව යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා හිටපු මැති ඇමතිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ රඳවා තබා ගැනීම සහ ඔහුට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව, නීතිය ඉදිරියේ සැමට හිමිවන සමාන අයිතිවාසිකම් සහ සාධාරණත්වය සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ද තහවුරු කරන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.​එම ලිපිය මඟින් ඔවුන් පෙන්වා දෙන්නේ සලේ මහතා මාස තුනකට වැඩි කාලයක් රඳවා තබාගෙන සිටින්නේ අධිකරණ නියෝගයකින් නොව, ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ නියෝගයක් මත බවයි. එසේම, ඔහු රඳවා තබා ගැනීමේදී කෲර සැලකීම්වලට ලක්ව ඇති බව ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙකු අධිකරණයට දන්වා ඇති අතර, එය සනාථ කරමින් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව එහි සඳහන් වේ.​පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට කඩිනමින් යුක්තිය ඉටු කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානතම වගකීමක් බව පිළිගන්නා මෙම පිරිස, එම විමර්ශන ක්‍රියාවලිය පටු දේශපාලන අරමුණුවලින් තොරව විශ්වසනීය ලෙස සිදුවිය යුතු බව අවධාරණය කරති. වගකීම් සහගත පුරවැසියන් ලෙස මෙම කරුණු ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉදිරිපත් කළ බව පවසන හිටපු මැති ඇමතිවරුන්, තමන්ගේ අරමුණ පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට එරෙහි නීතිමය පියවර අඩපණ කිරීම නොවන බවද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

What's your reaction?

Related Posts

1 of 1,195

Leave A Reply

Your email address will not be published. Required fields are marked *