සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීමට නව පත්වීම් 2,652ක්

මෙරට රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු වෙනුවෙන් නවකයන් 2,652 දෙනෙකු බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ සෞඛ්‍ය කාර්ය සහායක, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ක්‍ෂේත්‍ර මදුරු මර්දන සහායක සහ සුළුසේවා පාලක යන තනතුරු සඳහා ඉදිරි මාසය තුළ පත්වීම් ලබාදීමට නියමිතය.​මෙම පත්වීම් ප්‍රදානය අදියර කිහිපයක් යටතේ සිදු කෙරෙන අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා තේරී පත් වූ 627 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායමට හෙට (04) පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. ඉන් අනතුරුව දෙවන කණ්ඩායම ලෙස තවත් සෞඛ්‍ය කාර්ය සහායකයින් 600 දෙනෙකු ජූලි 18 වනදා ද, තෙවන කණ්ඩායම ලෙස 762 දෙනෙකු අගෝස්තු 01 වනදා ද සේවයට බඳවා ගැනීමට කටයුතු සූදානම් කර ඇත.​මීට අමතරව, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා තේරී පත් වූ 247 දෙනෙකුට ජූලි 16 වනදා පත්වීම් හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේම, අගෝස්තු 01 වනදා වන විට ක්‍ෂේත්‍ර මදුරු මර්දන සහායකයින් 295 දෙනෙකු සහ සුළුසේවා පාලකවරුන් 121 දෙනෙකු සඳහා ද පත්වීම් ලිපි ප්‍රදානය කර අවසන් කිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,218

Leave A Reply

Your email address will not be published. Required fields are marked *