සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

ජාතික පෝෂණ මාසයට සමගාමීව, දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර පාසල් ආපනශාලා හරහා ලබාදීමේ අරමුණින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) එළිදැක්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය මගින් සකස් කළ මෙම මාර්ගෝපදේශය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.​මෙම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වන්නේ පාසල් ආපනශාලා තුළ දැරිය හැකි මිලකට සහ ඉහළ පෝෂණ ගුණයකින් යුත් ආහාර සැපයීම තුළින් දරුවන්ගේ නිරෝගීභාවය තහවුරු කිරීමයි. එමගින් සිසුන් තුළ නිවැරදි ආහාර පුරුදු ඇති කිරීම, බෝ නොවන රෝග අවදානම අවම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවන් සමාජගත කිරීම අපේක්ෂා කෙරේ. සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම මාර්ගෝපදේශය පාසල්වලට පමණක් සීමා නොකර, රාජ්‍ය ආයතනවල පැවැත්වෙන උත්සව සහ සාකච්ඡා සඳහාද ආදර්ශයක් ලෙස යොදා ගත යුතු බවයි.​පවතින ආහාර පුරුදු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඇතැම් සමාගම් පාසල් ව්‍යාපෘතිවලට අනුග්‍රහය ලබාදීම හේතුවෙන් හානිකර ආහාර විකිණීමට ඉඩ ලැබෙන බවයි. පාසල් අරමුදල් සපයා ගැනීමේ අරමුණින් දරුවන්ගේ අනාගත සෞඛ්‍යය අනතුරේ හෙළනවාද නැතහොත් දශක කිහිපයකින් රටේ සංවර්ධනයට දායක වන දරුවන්ගේ පෝෂණයට මුල්තැන දෙනවාද යන්න පිළිබඳව විදුහල්පතිවරුන් සහ පාර්ශ්වකරුවන් තීරණ ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.​සමාජයේ පවතින පෝෂණ ගැටලු සඳහා කෙටිකාලීන විසඳුම් නොමැති බවත්, ඒ සඳහා ජනතා ආකල්ප වෙනස් කරමින් අඛණ්ඩ මැදිහත්වීමක් අවශ්‍ය බවත් මෙහිදී අවධාරණය කෙරිණි. මෑතකාලීන සමීක්ෂණ දත්තවලට අනුව, පාසල් සිසුන් සැලකිය යුතු පිරිසක් සීනි සහ ලුණු අධික, සෞඛ්‍යයට අහිතකර කෙටි ආහාර සහ පාන වර්ග දිනපතා පරිභෝජනය කරන බව හෙළි වී තිබේ. මෙය අනාගත බෝ නොවන රෝග ව්‍යාප්තියට විශාල තර්ජනයක් බව විශේෂඥයන් විසින් පෙන්වා දෙන ලදී.​”කෙටි ආහාර ගැන නැවත සිතමු – සෞඛ්‍ය සම්පන්න, ස්වාභාවික කෙටි ආහාර තෝරමු” යන තේමාව යටතේ මෙවර ජාතික පෝෂණ මාසය ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනට පෝෂණ විශේෂඥයන්, වෛද්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යාංශ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර, ඉදිරියේදී මෙම මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *