හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණ නඩුව තවදුරටත් කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. ඒ අනුව, මෙම නඩුව නැවත ජූලි මස 30 වන දින කැඳවීමට මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා අද (22) නියෝග කළේය.මෙම නඩුව අද දින විනිසුරුවරයා හමුවේ කැඳවූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරිණි. එම කටයුතු අවසන් වීමෙන් පසු නඩුවේ මීළඟ දිනය එලෙස තීරණය කෙරුණි.2014 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් විවිධ පුවත්පත්වල අතිරේක පළ කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් අවභාවිත කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇත. එම ක්‍රියාව හරහා රජයට රුපියල් 1,748,877.76ක පාඩුවක් සිදු කරමින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළ බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.



























