හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අදාළ දූෂණ විමර්ශනයක් සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය. ඒ අනුව සැකකරු ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පියවර ගත් මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝගයක නිකුත් කරනු ලැබීය.මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් කරුණු දක්වමින් කියා සිටියේ, 2006 වසරේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව නීතිවිරෝධී ලෙස එම තනතුරට බඳවාගෙන ඇති බවයි. ඊට අමතරව, එවකට පැවති සම්මත ක්‍රමවේදවලින් බැහැර වෙමින් රජයේ පොදු මුදල් වැය කර, ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ විශේෂ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් ද කරන්නාගොඩ මහතාට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබේ.අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු මැනවින් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.



























