රඛිත රාජපක්ෂ ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්, විජයදාස ගැනත් විමර්ශන

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නැමැත්තාට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (3) නියෝග කළේය. මෙලෙස රිමාන්ඩ් කෙරුණු සෙසු සැකකරුවන් වන්නේ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර සහ ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග නැමැත්තන්ය. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම් සලකා බැලූ අධිකරණය, ඒ සඳහා ප්‍රමාණවත් කරුණු නොමැති වීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.​මේ අතර, අදාළ අල්ලස් මුදල ලබාගැනීම සඳහා සැකකරුවන් ඩුබායි රාජ්‍යයට ගිය අවස්ථාවේදී හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එහි රැඳී සිට ඇති බව ආගමන විගමන වාර්තා මඟින් තහවුරු වී ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම සිදුවීමට ඔහුගේ කිසියම් සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂිකා අනුෂා සම්බන්ධප්පෙරුම මෙනවිය ප්‍රකාශ කළාය.​තවදුරටත් කරුණු දැක්වූ සහකාර නීති අධ්‍යක්ෂිකාව, පළමු සැකකරු විසින් ලබාගත් රුපියල් ලක්ෂ 200ක මුදලක් නුගේගොඩ, නාවල පාරේ පිහිටි විජයදාස රාජපක්ෂ මහතාට අයත් නිවසකදී අතරමැදියෙකු මාර්ගයෙන් හරක් කටාගේ බිරිඳ වෙත නැවත ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පැවසුවාය. මෙම අල්ලස් මුදල් ‘උණ්ඩියල්’ ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ඇති බවට සැක කෙරෙන අතර, සැකකරුවන්ගේ වත්කම්, දුරකථන ජාල විශ්ලේෂණ වාර්තා සහ වට්සැප් පණිවිඩ ඔස්සේ ඉදිරි පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 1,218

Leave A Reply

Your email address will not be published. Required fields are marked *