කොළඹ පැවති ප්‍රථම සමස්ත ලංකා සාමවිනිසුරු ප්‍රජා සංවර්ධන ජාතික සමුළුවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, තම පක්ෂය තුළ වුවද ආචාර ධර්මවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් නෙරපා හැරීමට තමන් කිසිසේත් පසුබට නොවන බවයි. ධම්ම පදයේ ඉගැන්වීම්වලට අනුකූලව විනයගරුකව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ ඒ මහතා, ජනතාවගේ නිරන්තර අවධානයට ලක්වන සාමවිනිසුරුවරුන් ද දැඩි ස්වයං විනයකින් හා වෘත්තීය ගෞරවයකින් යුතුව සිය රාජකාරි ඉටු කළ යුතු බව පෙන්වා දුන්නේය.සාමවිනිසුරු පත්වීම් ලබා දීමේදී හුදෙක් අධ්‍යාපන සහතික මත පමණක් පදනම් වීම ප්‍රමාණවත් නොවන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. ගම් මට්ටමින් ජනතාවට සැබෑ මෙහෙවරක් ඉටු කරන, සමාජයට ආදර්ශමත් මෙන්ම ප්‍රජා සේවයේ මනා පළපුරුද්දක් ඇති දක්ෂ පුද්ගලයින්ට ද මෙම ක්ෂේත්‍රයට පිවිසීමට නිසි අවස්ථාව ලබා දීම කාලීන අවශ්‍යතාවක් බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.සාමවිනිසුරු සේවාව වඩාත් ජනතාවාදී සහ කාර්යක්ෂම එකක් බවට පත් කරමින් එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පාර්ලිමේන්තුව තුළින් මෙන්ම ඉන් පිටතදීත් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔහු එහිදී සහතික විය. සුදුසුකම් හා ප්‍රායෝගික අත්දැකීම් ඇති පිරිස් රටේ සංවර්ධන ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීම හරහා සමස්ත සේවාවම ජාතික මට්ටමින් වඩාත් බලගැන්විය හැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා අවසන් වශයෙන් සඳහන් කළේය.



























