ශාසන ඉතිහාසයේ සුවිශේෂී සහ වැදගත් සිදුවීම් රැසක්ම සිහිපත් කෙරෙන ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී ඇත. බෝසතාණන් වහන්සේ මාතෘ කුස පිළිසිඳ ගැනීම, මහාභිනිෂ්ක්රමණය සිදු කිරීම සහ බුදුරජාණන් වහන්සේ ප්රථම වරට ‘ධම්මචක්ක පවත්තන සූත්රය’ දේශනා කිරීම වැනි උතුම් අවස්ථා රැසක් මෙම දිනය සමඟ සම්බන්ධ වේ.මීට අමතරව, රාහුල කුමරුගේ උපත සිදු වීම, තීර්ථකයන්ගේ මානය බිඳ දැමීම සඳහා යමාමහ පෙළහර පෑම මෙන්ම කීර්ති ශ්රී රාජසිංහ රජ සමයේ සියම් රටින් උපාලි තෙරුන් වහන්සේ ප්රමුඛ පිරිස වැඩමවා මෙරට උපසම්පදාව යළි පිහිටුවීම ආදී ඓතිහාසික සිදුවීම් ද ඇසළ පොහෝ දිනකදී සිදුවී තිබීම විශේෂත්වයකි.බෞද්ධ ඉතිහාසයේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වෙහෙර විහාරස්ථානවල වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වීම හෙවත් වස් විසීම ආරම්භ කරනු ලබන්නේ ද මෙම ඇසළ පුර පසළොස්වක පොහෝ දින වීම විශේෂිතය.

























