ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුවක් අද (19) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අරලියගහ මන්දිරය වෙත පැමිණි උප ජනාධිපතිවරයාව අග්‍රාමාත්‍යවරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී රාධක්‍රිෂ්ණන් මහතා ඉන්දීය උප ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් ඇය සිය සුබපැතුම් ද එක් කළාය.මෙම සාකච්ඡාවේදී ඉන්දීය උප ජනාධිපතිවරයා අවධාරණය කළේ සිය ධුර කාලය තුළ සිදුකරන ප්‍රථම විදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම සුවිශේෂී කරුණක් බවයි. තමා ඇතුළු දූත පිරිසට මෙරටදී හිමි වූ සුහදශීලී ආගන්තුක සත්කාර සහ ගෞරවනීය පිළිගැනීම පිළිබඳව ඔහු අග්‍රාමාත්‍යවරිය වෙත සිය ස්තූතිය පුද කළ අතර, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.මෙම රාජ්‍යතාන්ත්‍රික හමුව සඳහා ඉන්දීය පාර්ශවයෙන් එරට ධීවර, සත්ව පාලන සහ කිරි නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය එස්.පී. සිං බාගෙල්, විදේශ ලේකම් වික්‍රම් මිස්රි සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියහ. දෙරටේ පොදු අවශ්‍යතා සහ ඉදිරි සහයෝගීතා කටයුතු පිළිබඳව මෙහිදී දෙපාර්ශවය අතර පුළුල් ලෙස අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ. මෙම සංචාරය හරහා කලාපීය සහයෝගීතාව සහ දෙරට අතර පවතින ආර්ථික හා සමාජීය සබඳතා නව මානයකට යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
























