ඉබෝලා වෛරස් අවදානමට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව යන රටවල දැනට පැතිර යන ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට සමගාමීව ශ්‍රී ලංකාව තුළද විශේෂ ආරක්ෂිත ක්‍රියාමාර්ග 5ක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර සිටියි.​මෙම සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන වශයෙන්ම මෙරට ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණ කටයුතු දැඩි කිරීමට නියමිතය. ඊට අමතරව, සැකකටයුතු රෝගියෙකු වාර්තා වුවහොත් වහාම ප්‍රතිකාර කිරීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සූදානම් කර ඇති අතර, රෝග විනිශ්චය කටයුතු වෙනුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) ද සන්නද්ධ කර තිබේ. එමෙන්ම, රට තුළ සමස්ත වසංගත ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය හරහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට ද අවශ්‍ය කටයුතු යොදා ඇත.​කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව ඉබෝලා රෝගය සම්බන්ධයෙන් පවතින්නේ ඉතා අවම අවදානම් මට්ටමකය. එබැවින් මේ පිළිබඳව මහජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවත්, රට වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියලුම පූර්ව සෞඛ්‍ය උපක්‍රම මේ වන විටත් උපරිමයෙන් ක්‍රියාවට නංවා ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,150

Leave A Reply

Your email address will not be published. Required fields are marked *