උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, හෙට දිනයේ දිවා කාලයේදී මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වන තාප දර්ශකය ‘අවධානම යටතේ පවතින මට්ටම’ දක්වා ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත. සාපේක්ෂ ආර්ද්‍රතාවය සහ උපරිම උෂ්ණත්වය මත පදනම්ව ගණනය කෙරෙන මෙම තාප දර්ශකය යනු සිරුරට දැනෙන උණුසුම් තත්ත්වය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මෙම කාලගුණ තත්ත්වය යටතේ හිරු එළියට දිගුකාලීනව නිරාවරණය වීම සහ එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීම නිසා විඩාවට පත්විය හැකි අතර, අඛණ්ඩව එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මස්පිඬු ආශ්‍රිත කැක්කුම් හට ගැනීමටද ඉඩ ඇත. එබැවින්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, වෙහෙසකර එළිමහන් ක්‍රියාකාරකම් සීමා කරන ලෙසත් අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටී.



























