එකිනෙකා අතර පවතින විවිධ මතවලට ගරු කිරීම ලොවට අත්‍යවශ්‍යයි – අගමැතිනි හරිනි

එකිනෙකා අතර පවතින විවිධ අදහස් හා එකඟ නොවීම් නිසි ලෙස කළමනාකරණය කරගනිමින්, අන්‍යෝන්‍ය මතවලට ගරු කිරීමට හුරුවීම වර්තමාන සමාජයට බෙහෙවින් වටිනා ගුණාංගයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. කොළඹ ක්‍රමය (Colombo Plan) සංවිධානයේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැති අන්තර් විශ්වවිද්‍යාල විවාද තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඇය මේ බව පෙන්වා දුන්නාය. එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියේ තමන් එකඟ නොවන මතයකට වුවද ඉවසීමෙන් සවන්දීමේ සංස්කෘතියක් ගොඩනැගිය යුතු බවයි.​සමුද්‍රීය උපදේශන, මත්ද්‍රව්‍ය නිවාරණය සහ නායකත්වය වැනි සමාජීය වශයෙන් වැදගත් මාතෘකා ඔස්සේ මෙහිදී සිසුන් අදහස් දැක්වූ අතර, මෙවැනි සැබෑ ගැටලුවලට සාර්ථක විසඳුම් සෙවීම වර්තමාන තරුණ පරපුරේ වගකීමක් බව අගමැතිනිය අවධාරණය කළාය. එමෙන්ම, මෙරට විශ්වවිද්‍යාල සිසුන් යනු පොදු මහජනතාවගේ ආයෝජනයකින් අධ්‍යාපනය ලබන පිරිසක් බැවින්, ඔවුන් තමන්ගේ පෞද්ගලික දියුණුවට පමණක් සීමා නොවී සමස්ත සමාජයේම යහපත උදෙසා කැපවන වගකිවයුතු පුරවැසියන් බවට පත්විය යුතු බව ද ඇය සිහිපත් කළාය.​කොළඹ ක්‍රමය සංවිධානයේ මහලේකම් ආචාර්ය බෙන්ජමින් පී. රෙයෙස් මහතා ඇතුළු විදේශීය තානාපති කාර්යාල නියෝජිතයින් සහ උසස් නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම සාකච්ඡා මණ්ඩපය සඳහා කොළඹ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටවල් අතර දැනුම සහ සම්පත් බෙදාහදා ගනිමින් සහයෝගීතාව වර්ධනය කිරීම මෙවැනි වැඩසටහන්වල මූලික අරමුණ වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *