කටුනායක ඉතිහාසයේ ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම: භික්ෂූන් 22ක් අත්අඩංගුවට

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ භික්ෂූන් වහන්සේලා 22 නමක කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි තොරතුරකට අනුව ඊයේ (25) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීම, ගුවන්තොටුපොළ ඉතිහාසයේ එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස වාර්තා වේ.​සැකකාර හිමිවරුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ සහ රසකැවිලි අතර ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 110කට අධිකය. සෑම හිමිනමකගේම ගමන් මල්ලක කිලෝ ග්‍රෑම් 5 බැගින් වූ පාර්සල් අසුරා තිබූ බවත්, ඒවා ව්‍යාජ පතුල් යොදා සකස් කළ බෑග් තුළ සඟවා තිබූ බවත් පරීක්ෂණ වලදී හෙළි විය.​පසුගිය 22 වැනිදා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති මෙම පිරිස, එහිදී ගිහි වෙස්ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවට සාක්ෂි ඔවුන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී සොයාගෙන ඇත. අනුග්‍රහකයෙකු විසින් ලබාදුන් ගුවන් ප්‍රවේශ පත්‍ර මත මෙම සංචාරය සංවිධානය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භික්ෂූන් වහන්සේලා මෙලෙස යොදාගත් ප්‍රථම අවස්ථාව මෙය බව නිලධාරීන් පවසයි.​අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි, උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන තරුණ භික්ෂූන් වහන්සේලා බව තහවුරු වී ඇත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ශාසනයට මුවා වී මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පළ කරයි.​අත්අඩංගුවට ගත් සැකකාර හිමිවරුන් සහ මත්ද්‍රව්‍ය තොගය අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,113

Leave A Reply

Your email address will not be published. Required fields are marked *