ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් වන සාක්ෂි විභාගය අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ආරම්භ විය. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ සොහොයුරියගේ නිවසක තිබී ඒ මහතාගේ දේහය පසුගියදා සොයාගැනුණු අතර, එම සිදුවීම සම්බන්ධයෙන් අදාළ නිවසේ පදිංචි ප්‍රියංගි අනුෂ්කා විජේනායක සහ අරවින්ද ද සිල්වා යන අය අද දින අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි ලබා දුන්හ.විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් කරමින්, මියයන අවස්ථාවේ ඔහු හැඳ සිටි ඇඳුම් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද අධිකරණයේ අවසරය හිමිවිය. එසේම, විමර්ශන අවසන් වන තෙක් ඒ මහතා සතුව තිබූ පෞද්ගලික බැංකු කාඩ්පත් අක්‍රීය කිරීමටත්, ඔහුගේ ජාතික හැඳුනුම්පත යටතේ ලියාපදිංචි දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමටත් පොලීසියට අවසර ලැබුණි.විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයට දන්වා සිටියේ කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකථනය ‘මුහුණ හඳුනාගැනීමේ’ (Face ID) තාක්ෂණයෙන් අගුළු දමා ඇති බැවින්, මෘත දේහය මගින් එය විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව දුරකථන සමාගම් හරහා එම දත්ත ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට ද අධිකරණය අවසර ලබා දුන් අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර සාක්ෂි විමසීම ලබන 14 වනදා දක්වා කල් තබා ඇත.

























