ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 17කින් ඉහළ නැංවීමට ගත් තීරණයත් සමඟ, සමස්ත ලංකා අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමය අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළ දමා තිබේ. මැදපෙරදිග යුධමය වාතාවරණය හේතුවෙන් ධාන්‍ය මිල මෙන්ම නෞකා සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම මෙම තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට මූලික හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අනුව පරාටා, රෝල්ස්, පැටිස් මෙන්ම බිත්තර හා එළවළු රොටිවල මිල මෙලෙස වැඩි වී ඇති අතර, ඉඳි ආප්පයක මිල ද රුපියලකින් ඉහළ නංවා ඇත.මේ අතර, තිරිඟු පිටි මිල ඉහළ යෑමේ බලපෑම පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වෙත ද දැඩි ලෙස එල්ල වී ඇති බැවින්, එම නිෂ්පාදනවල මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් හෙට (31) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේය. පිටි මිල ඉහළ යාම හමුවේ පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ට ද යම් මට්ටමක පීඩකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුව ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.


























