කොංගෝව භීතියට පත් කරමින් ඉබෝලා නව ප්‍රභේදයක් දරුණු ලෙස පැතිර යයි

කොංගෝ රාජ්‍යය තුළ බුන්ඩිබුග්යෝ (Bundibugyo) නමැති ඉබෝලා වෛරස් ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට එරටින් සැකකටයුතු රෝගීන් 246 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයන් 65ත් 80ත් අතර ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. අධික උණ, ශරීරයේ ඇති වන දැඩි වේදනාව, වමනය, පාචනය සහ ශරීර අභ්‍යන්තරයෙන් හෝ බාහිරින් ලේ ගැලීම මෙම භයානක රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස පෙන්වා දී ඇත.​මෙම වෛරස් ප්‍රභේදය පාලනය කිරීම සඳහා මෙතෙක් නිල වශයෙන් අනුමත කරන ලද එන්නතක් සොයාගෙන නොමැති වීම හේතුවෙන් වසංගත තත්ත්වය මැඩපැවැත්වීම දැඩි අභියෝගයක් වී තිබේ. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේ වන විට සෞඛ්‍ය අංශ දැඩි වෙහෙසක් දරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.​මේ අතර, කොංගෝ රාජ්‍ය සීමාවෙන් ඔබ්බට ගොස් අසල්වැසි උගන්ඩාව වැනි රටවලටද මෙම රෝගය පැතිරීමේ ඉහළ අවදානමක් පවතින බවට වෛද්‍ය අංශ අනතුරු අඟවයි. මේ හේතුවෙන් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අප්‍රිකානු සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර රැසක් අනුගමනය කිරීමට පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 765

Leave A Reply

Your email address will not be published. Required fields are marked *