කොළඹ නගරයේ පිහිටි රජයට අයත් සුඛෝපභෝගී ඇමති බංගලා 24ක් හෝටල්, තානාපති කාර්යාල සහ ආපනශාලා වැනි ආර්ථික ක්‍රියාකාරකම් සඳහා වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මැකෙන්සි පාර, විජේරාම මාවත සහ කැප්පෙටිපොළ මාවත වැනි ප්‍රධාන පෙළේ කලාපවල පිහිටි මෙම දේපළ වසර 30ක බදු පදනම මත පෞද්ගලික අංශයට ලබාදීමට නියමිතය. රජයේ නව ප්‍රතිපත්තියට අනුව ඇමතිවරුන් සඳහා නිල නිවාස වෙන් නොකිරීමට තීරණය කර ඇති බැවින්, මෙම වටිනා දේපළ ඵලදායී ලෙස භාවිත කිරීමට රජය පියවර ගෙන ඇත.මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ කොළඹ නගරය තුළ සංස්කෘතික අංග සහ විවේකී ස්ථානවලින් සමන්විත “Cultural Loop” නමැති විශේෂ සංචාරක කලාපයක් නිර්මාණය කිරීමයි. මෙහිදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිලිවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය අනිවාර්ය කර ඇත. විවෘත යෝජනා කැඳවීමේ විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් හරහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇති අතර, එමගින් රජයේ නඩත්තු පිරිවැය අවම කර ගනිමින් ඉහළ ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතය.ඇමති බංගලාවලට අමතරව පිට පළාත්වල පිහිටි ජනාධිපති මන්දිර සම්බන්ධයෙන් ද ඉදිරියේදී විමර්ශනයක් පවත්වා ඒවා ද මෙලෙසම ආර්ථික ප්‍රතිලාභ ලබන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට රජය සැලසුම් කර ඇත. ජනාධිපති මන්දිර පෞද්ගලික පරිහරණය සඳහා භාවිත නොකිරීමේ ප්‍රතිපත්තිය මත පදනම්ව මෙම තීරණ ගෙන තිබේ. රජයේ දේපළ මහජන ප්‍රයෝජනයට සහ රටේ ආර්ථික සංවර්ධනයට සෘජුව දායක කර ගැනීම මෙම සමස්ත ක්‍රියාවලියේ මූලික ඉලක්කය වී ඇත.

























