ඛනිජ තෙල් සංස්ථාවෙන් දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක්

පෞද්ගලික ඉන්ධන බෙදාහැරීම් සීමා වීම හේතුවෙන් මහජනතාව මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස දිවයින පුරා හඳුනාගත් ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල් 75ක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත. මොරටුව විශ්වවිද්‍යාලය සමඟ සිදු කළ විද්‍යාත්මක අධ්‍යයනයකින් පසුව මේ සඳහා වඩාත් සුදුසු ස්ථාන 70ක් මේ වන විටත් හඳුනාගෙන තිබේ. දැනට පවතින පාඩුව හේතුවෙන් පෞද්ගලික සමාගම් වෙළෙඳපොළට ඉන්ධන සැපයීම යම් ප්‍රමාණයකට සීමා කර ඇති අතර, ඊට පිළියමක් ලෙස සිපෙට්කෝ ආයතනය තමන් සපයන 55%ක වෙළෙඳපොළ කොටස 80% දක්වා ඉහළ නංවා ඇත.​මේ පිළිබඳව අදහස් දක්වමින් වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, පාරිභෝගිකයන් මුහුණදෙන අපහසුතා අවම කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවත්, අර්බුදකාරී කාලසීමාව පහව යන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවත්ය. එසේම, පවතින පනත හා ගිවිසුම් රාමුව තුළ නීතිමය පියවර ගැනීම පිළිබඳවද රජයේ අවධානය යොමු වී ඇත.​දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 1,440 අතුරින් පිරවුම්හල් 887ක් සිපෙට්කෝ ආයතනය යටතේ පාලනය වන අතර, ලංකා IOC පිරවුම්හල් 273ක්, සිනොපෙක් පිරවුම්හල් 150ක් සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම පිරවුම්හල් 130ක් පාලනය කරයි. රට තුළ ඩීසල් බෙදාහැරීමෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරනු ලබන්නේද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිනි.

What's your reaction?

Related Posts

1 of 1,375

Leave A Reply

Your email address will not be published. Required fields are marked *