ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීමෙන් වළකින්න – ශ්‍රී ලංකා ගුවන් හමුදාව

පවතින සරුංගල් සමයත් සමඟ ගුවන් තොටුපළ සහ ගුවන් ධාවන පථ ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීම ඉහළ යාම හේතුවෙන් ගුවන් යානා පියාසර කිරීමේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් මතුව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. කටුනායක, රත්මලාන, මත්තල ඇතුළු දිවයිනේ ප්‍රධාන ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට ප්‍රදේශවල සරුංගල් යැවීම මගින් ගුවන් යානාවල පියාසර කටයුතුවලට සෘජු බාධාවක් එල්ල වන අතර, මෙය ගුවන් අනතුරුවලට ද ප්‍රධානතම හේතුවක් බව හඳුනාගෙන ඇත.​මෙම අනතුරුදායක තත්ත්වය සනාථ කරමින් අද (15) රත්මලාන ගුවන් තොටුපළෙන් පුහුණු ගුවන් ගමනක නිරතවූ Y-12 වර්ගයේ යානයක සරුංගල් නූල් පැටලීම හේතුවෙන් එම යානය දැඩි අවදානමකට ලක්විය. ගුවන්ගතව තිබූ යානය නැවත ගොඩබස්වා සිදුකළ පරීක්ෂණවලදී යානයේ එන්ජිම, රෝද සහ තවත් කොටස් කිහිපයකම සරුංගල් නූල් විශාල වශයෙන් පැටලී තිබූ බව අනාවරණය විය. ගුවන් යානයක එන්ජිමකට හෝ ක්‍රියාකාරී පද්ධතියකට මෙවැනි නූල් හෝ කොටස් ඇතුළු වීම සමස්ත ගුවන් යානයම දරුණු අනතුරකට ලක්වීමට හේතු විය හැකි බව ගුවන් හමුදාව පෙන්වා දෙයි.​මෙමඟින් සිදුවිය හැකි විශාල ජීවිත සහ දේපල හානිය වළක්වා ගැනීම සඳහා, ගුවන් ධාවන පථ සහ ගුවන් තොටුපළ අවට පදිංචි මහජනතාවගෙන් ගුවන් හමුදාව කාරුණිකව ඉල්ලා සිටින්නේ ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි. මහජනතාවගේ වගකිවයුතු ක්‍රියාකලාපය මගින් මගී ජීවිත සුරක්ෂිත කිරීමට සහ ගුවන් ගමන්වල සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහාය වන ලෙස ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

What's your reaction?

Related Posts

1 of 1,238

Leave A Reply

Your email address will not be published. Required fields are marked *