‘ගොවිජන සභාව’ ඇරඹෙයි: ගොවි ගැටලුවලට විසඳුම් සෙවීමට ඇමති ලාල්කාන්ත ගමට

මෙරට කෘෂිකර්මාන්තයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ මූලිකත්වයෙන් ‘ගොවිජන සභාව’ වැඩසටහන් මාලාව දීපව්‍යාප්තව ආරම්භ කර තිබේ. “ගොවිජන බලය සමඟ පෙරට – ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ගොවියාගේ හෙට දවස” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, අමාත්‍යවරයා සෘජුවම ගොවිජනතාව අසලට ගොස් ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කර ක්ෂණික විසඳුම් ලබාදීමයි. ජාතික ජන බලවේගය රජය බලයට පත්ව වසර එකහමාරක් සපිරෙන මෙම අවධියේදී, ගොවිජනතාව සවිබල ගැන්වීම සඳහා අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන සුවිශේෂී ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීම ද මෙහිදී සිදු කෙරේ.​සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ඒකාබද්ධව ප්‍රාදේශීය මට්ටමින් ‘ගොවිජන සභා’ දහසක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මිනිපේ වම් ඉවුර සහ මොරගහකන්ද ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙහි සමාරම්භක වැඩසටහන් සාර්ථකව පවත්වා ඇත. තම ප්‍රදේශවල පවතින කෘෂිකාර්මික ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීමට අවශ්‍ය ඕනෑම ගොවි සංවිධානයකට, ගොවිජන සම්මේලනය හරහා අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන මෙවැනි සභාවන් කැඳවීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය හුදෙක් සාකච්ඡාවකට පමණක් සීමා නොවී, ගොවියාට අවශ්‍ය නිසි මාර්ගෝපදේශනය සහ තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වේ.​මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, වත්මන් රජය විසින් ග්‍රාමීය මට්ටමින් ජනතාවට තීරණ ගැනීමේ බලය ලබාදීම සඳහා ‘ප්‍රජා ශක්ති’ කමිටු නීත්‍යනුකූලව ස්ථාපිත කර ඇති බවයි. සෑම ග්‍රාම සේවා වසමකම වෙසෙන ජනතාව ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් ඉහළ තලයකට ඔසවා තැබීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි. ගම තුළ ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමට රජය පූර්ණ සහාය ලබා දෙන බවත්, සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව ගොවිජනතාව සැබෑ බලවේගයක් ලෙස ගොඩනැගීම හරහා රටේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් ලාල්කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,138

Leave A Reply

Your email address will not be published. Required fields are marked *