වත්මන් ගොවි ජනතාව තම අස්වැන්නට නිසි ස්ථාවර මිලක් නොමැතිවීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බීජ, පොහොර, කෘමිනාශක මිල ඉහළ යාම සහ වන සත්ත්ව හානි මැද අසරණ වී සිටින ගොවියාට, මැතිවරණ සමයේ පොරොන්දු වූ පරිදි වී සඳහා රුපියල් 150ක ස්ථාවර මිලක් ලබාදීමට රජය අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දෙයි. එබැවින් එදා රජ දවසේ මෙන් මේ දුෂ්කර අවස්ථාවේදී ජනතාව අත්නොහැර ඔවුන් රැකගැනීමට බලධාරීන් වහාම මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.පොළොන්නරුව ඇලහැර ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකට ඊයේ (30) සහභාගී වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ සංකල්පය තුළින් රට තුළ දැහැමි පුරවැසි පරපුරක් බිහිවන බවයි. ඇතැම් පාර්ශ්ව කෘෂිකර්මාන්තය පාඩු ලබන ක්ෂේත්‍රයක් ලෙස අර්ථකථනය කිරීමට උත්සාහ කළ ද, නිසි තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් නිෂ්පාදනය ඉහළ නැංවීම හරහා එය ලාභ ලබන වෘත්තියක් බවට පත්කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.වත්මන් කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ පවතින පොහොර හිඟය සහ කළුකඩ ව්‍යාපාරය හේතුවෙන් ගොවියා තවදුරටත් අමාරුවේ වැටී ඇති බැවින්, දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක විය යුතු බව මෙම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



























