කලාපීය සිවිල් ගුවන් සේවයේ ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන ජාත්‍යන්තර සමුළු ද්විත්වයක සත්කාරකත්වය මෙවර ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඒ අනුව, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ආසියා ශාන්තිකර සහයෝගිතා ගුවන් සේවා ආරක්ෂක වැඩසටහනේ (CASP – AP) 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම සහ 14 වන ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් සේවා ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය (RASCF) මෙරටදී පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී අවස්ථාවට සමගාමීව 2026-2027 කාලසීමාව සඳහා වන මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය ද ශ්‍රී ලංකාව විසින් භාර ගැනීමට සූදානමින් සිටී.සාමාජික රටවල් 41ක් නියෝජනය කරමින් විදෙස් නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධාන සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 80කට අධික පිරිසක් මෙම සමුළු සඳහා සහභාගී වීමට නියමිතව ඇත. මෙහි පළමු අදියර වන 21 වන මෙහෙයුම් කමිටු රැස්වීම 2026 ජුනි 23 සහ 24 දිනවලදීත්, දෙවන අදියර වන ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය ජුනි 25 සහ 26 යන දිනවලදීත් කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුව මෙරටදී සංවිධානය කිරීම වෙනුවෙන් වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ද නිල අනුමැතිය හිමිව ඇත.ආසියා සහ ශාන්තිකර කලාපීය ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නා ප්‍රධානතම වේදිකාවක් ලෙස සැලකෙන මෙම සමුළුවේදී ගෝලීය වශයෙන් නැගී එන නව ගුවන් සේවා තර්ජන පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය. මීට අමතරව ICAO ආරක්ෂණ ප්‍රමිතීන් විධිමත්ව ක්‍රියාත්මක කිරීම සහ කලාපීය රටවල් අතර සහයෝගීතාව ශක්තිමත් කරගැනීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. මෙමගින් ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා සන්නාමය ජාත්‍යන්තර තලයේ ඉහළ පිළිගැනීමකට ලක්වීමට මහෝපකාරී වනු ඇත.



























