මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානය සහ තත්ත්ව සහතික කිරීමේ ඒකකය ඊයේ (02) නිල වශයෙන් විවෘත කරන ලදී. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම නව පද්ධති හරහා පාසල් විෂයමාලා කටයුතු වඩාත් විද්‍යාත්මක හා තාක්ෂණික පදනමකින් යුතුව, විනිවිදභාවයකින් සහ වගකීමකින් යුතුව ඇගයීමට ලක් කළ හැකි වන බවයි. එමෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ සමස්ත කාර්ය සාධනයේ ගුණාත්මකභාවය මැන බැලීම සහ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම මෙම නව තත්ත්ව සහතික කිරීමේ ඒකකයේ ප්‍රධාන වගකීමක් වනු ඇත.රජයේ සමස්ත අධ්‍යාපන දැක්මට අනුව මෙම ආයතනයේ කාර්යභාරය ප්‍රතිසංවිධානය කිරීමේ වැදගත්කම අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, පූර්ව ළමාවිය මෙන්ම සාමාන්‍ය, වෘත්තීය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා වන නව ජාතික ප්‍රතිපත්ති මේ වන විට සකස් කර අවසන් අදියරේ පවතින බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.



























