ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය වන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු නිලධාරී කණ්ඩායමක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ. දිවයින තුළ කාන්තා අයිතිවාසිකම් සුරැකීම, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ ඔවුන් සබලගැන්වීමේ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම කොමිසම පිහිටුවා ඇත.මෙම හමුවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්ව ඇත්තේ 2024 අංක 37 දරන කාන්තා සබලගැන්වීමේ පනත බලාත්මක කිරීමේ වත්මන් ප්‍රගතිය පිළිබඳවයි. එහිදී කොමිෂන් සභාවේ නියෝජිතයින් විසින් පනතේ ඉදිරි ක්‍රියාමාර්ග සහ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය විස්තරාත්මකව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් කොමිෂන් සභාව මෙතෙක් ඉටුකර ඇති කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යවරිය, ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙළ උදෙසා සිය ප්‍රසාදය පළ කළාය. මෙම අවස්ථාවට කොමිසමේ සභාපතිනී ග්‍රේස් ආසිරිවාදම්, විධායක අධ්‍යක්ෂිකා කේ.ඩී.ආර්. ඔල්ගා මෙන්ම ජයන්ති කුරුඋතුම්පාල, ජනහා සෙල්වරාස්, ආචාර්ය පද්මා ගුණරත්න සහ එම්.යූ. ගයානි යන කොමසාරිස්වරියන් ද එක්ව සිටියහ.



























