බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට සිට

දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මර්දන මෙහෙයුමක් හෙට (05) දින සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ පූර්ණ සම්බන්ධීකරණය ඇතිව මෙම විශේෂ ඒකාබද්ධ මෙහෙයුම දියත් කෙරේ.​රාජ්‍ය මෙන්ම සිවිල් සංවිධාන රැසකගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන සහ ස්වේච්ඡා සංවිධාන එක්ව සිටී. මහජන සහභාගිත්වය උපරිමයෙන් ලබාගනිමින් වසංගත තත්ත්වය පාලනය කිරීම මෙහි මූලික අරමුණයි.​සෞඛ්‍ය අංශ නිකුත් කළ නවතම දත්තවලට අනුව, මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් දක්වා ඉහළ ගොස් ඇත. වසරේ මුල් භාගයේදී රෝග ව්‍යාප්තිය යම් මට්ටමකට පාලනය වී තිබුණ ද, පසුගිය ජූනි මාසය තුළදී පමණක් රෝගීන් 21,547ක් වාර්තා වීමත් සමඟ තත්ත්වය බරපතළ වී තිබේ.​මීට අමතරව, එළඹුණු ජූලි මාසයේ මුල් දින තුන වැනි කෙටි කාලසීමාව තුළදී පමණක් දිවයින පුරා නව ඩෙංගු රෝගීන් 3,422 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. සංසන්දනාත්මකව බැලීමේදී වසරේ ජනවාරි මාසය තුළ වාර්තා වී තිබුණේ රෝගීන් 7,866ක් වැනි ප්‍රමාණයකි.​දැනට පවතින තත්ත්වය අනුව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,017ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,740ක් ලෙස ඉහළ අගයන් ගෙන ඇත. මෙම බරපතළ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන තමන් අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් ඩෙංගු මර්දන කටයුතුවලට උපරිම සහාය දෙන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,220

Leave A Reply

Your email address will not be published. Required fields are marked *