දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරීමට නියෝග කර ඇත. සැකකාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදෙස් ගමන් තහනම් කරමින් ද නියෝගයක් නිකුත් කරන ලදී.මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය සභාපතිනිය ලෙස කටයුතු කළ සමයේදී, ජාතික ලොතරැයි මණ්ඩලයට බඳවා ගනු ලැබූ නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයේ යෙදවීම වෙනුවට, එවකට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය සඳහා යෙදවූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙනි.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව ඇයව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.



























