ඩෙංගු ව්‍යාප්තිය හමුවේ අවදානම් කලාපවල අධ්‍යාපන ආයතන වසා දැමීමට යෝජනාවක්

දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා, වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන අධි අවදානම් කලාපවල පිහිටි පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන අවම වශයෙන් සති දෙකක කාලයකට වසා දමන ලෙස වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටී. වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මේ වන විට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,000 ඉක්මවා ඇති අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වන බවයි.​පවතින සෞඛ්‍ය අවදානම සැලකිල්ලට ගෙන මොරටුව විශ්වවිද්‍යාලය මේ වන විටත් සති දෙකකට වසා දමා ඇති අතර, කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක් සිය කටයුතු මාර්ගගත (Online) ක්‍රමයට සිදු කිරීමට පියවර ගෙන ඇත. රෝහල්වල පවතින දැඩි තදබදය හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමක පවතින බව පවසන වෛද්‍ය සංගම්, අවශ්‍ය වුවහොත් ආයතන වසා දැමීමට උපකුලපතිවරුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවසර දී ඇති බවද පවසයි.​කෙසේ වෙතත්, වර්තමාන රජයේ ස්ථාවරය වී ඇත්තේ අධි අවදානම් කලාපවල පාසල් හෝ විශ්වවිද්‍යාල වසා දැමීමේ අවශ්‍යතාවක් දැනට මතු වී නොමැති බවයි. නමුත් තත්ත්වය තවදුරටත් පාලනයෙන් ගිලිහී යාමට පෙර, අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව කඩිනම් සහ තීරණාත්මක ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,229

Leave A Reply

Your email address will not be published. Required fields are marked *